1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24

Wednesday, July 24, 2013

නිකිණි වැස්ස..!




අපේ සිනමාව අපේ ඇහින් දකින සිනමාවතරණයේ පළමු ලිපිය මේ විදියට පටන් ගන්නවා ගොඩ වෙන හැමෝවම ලෙන්ගතුව පිලිගන්න ගමන්.. ඇරඹුම කියෙව්ව නම් මතක ඇති මේ අඩවිය බොහොම කඩි මුඩියේ පටන් ගත්ත එකක්ය කියල කිව්වා.. එහෙම හදිස්සියේ කරන ආරම්භයකට හේතු වෙන්නෙ මේ දවස් වල අරුණ ජයවර්ධනයන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණයෙන් තිරගත වෙන නිකිනි වැස්ස චිත්‍රපටය.. ඇත්ත.. අශ්වයා ගියායින් පස්සෙ ඉස්තාලෙ වහල වැඩැක් නැහැ.. ඒ වගේම තමයි නිකිනි වැස්ස ගැන කෙරන මේ කතාබහත් කලයුතු හොඳම කාලය තමයි එය තිරගත් වෙන මේ අවදිය.. විශේෂයෙන්ම සිනමාහල් වලින් ඉවත්වේය යන්න පිළිබඳ රතු ලකුණු කනින් කොනින් පහල වෙද්දි ලියමන ඉක්මන් කරන්න හිතුව..

මම මේ ලිපිය ලියන්න පටන් ගන්නෙ අතිශය සුබවාදී සිතිවිල්ලක් හිතෙ තියාගෙන.. හේතුව කිව්වොත් මේ චිත්‍රපටයෙ නමේ ඉඳන් සෑම අංඟයක් පුරාවටම පැතිලා තියෙන අපූර්වත්වය, සුන්දරත්වය නිසාවෙන්.. නම 'නිකිණි වැස්ස'.. ප්‍රචාරක වැකිය 'මහ පොළවට අහිමි වැහි බිඳු' හෙවත් 'Rain that never kisses earth'.. මොකද්ද මේ නිකිණි වැස්ස?? නිකිණි කියන්නෙ අපේ විදියට ගත්තොත් අගෝස්තු මාසය.. ඉතින් අගෝස්තුවෙ වැටෙන වැස්ස කොහොමද මහ පොලොවට අහිමි වෙන්නෙ? මොකද ජුනි - සැප්තම්බර් කියන්නෙ නිරිත දිග මෝසමින් අනෝරා වැහි වටෙන කාලේ.. හැබැයි ටිකක් කල්පනා කරල බලද්දි නිරිත දිග මෝසමින් රටේ එක පැත්තක් මහ වැහි වලින් තෙමෙද්දි තවත් පැත්තක් ඉඩෝරයෙන් බැට කනවා.. ඒ තමයි ශුෂ්ක කලාපය..එහෙම බැලුවම ශුෂ්ක කලාපයට මේ කියන කතාව හරියටම ගැලපෙනවා.. අගෝස්තුව කියන්නෙ ශුෂ්ක කලාපීය වැසියන් ඉඩෝරයෙන් බැටකන කාලයක්.. ඉතින් ඒ කාලෙට වැටෙන වැහි පොදක් කියන්නෙ ඔවුන්ට කොයිතරම් නම් බලාපොරොත්තු දනවන්නක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.. හැබැයි ඒ තුල තියෙන දුක වැඩි වෙන්නෙ ඉඩෝරයෙන් බැට කෑවත් සමහර වෙලාවට අහස වළාකුළින් බර වෙලා හෙණ හඬ පුපුරණ වලු.. ඉතින් වැස්ස ගැන බලාපොරොත්තු උපරිමයි ඒ වෙලාවට අහිංසක මිනිස්සුන්ගෙ හිත්වල.. හැබැයි ඉහල අහසෙ හමන උඩු සුළඟ  ඒ වැහි වළාකුළු ඇතට අරගෙන යනවයි කියන්නේ ඒවයින් නික්මෙන එක වැහි බිඳුවකට වත් ශුෂ්ක කළාපීය පොලොවට පතිත වෙන්න ඉඩ නොදී.!

චිත්‍රපටයේ අන්තර්ගත වන්නෙත් කවදාවත්ම ඉටු නොවන බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවත්වන සාපේක්ෂව වෙනස් වූ සමජීය භූමිකාවක් රඟ දක්වන ගැහැණියක් වටා ගෙතුනු කතාවක්.. ඒ බලාපොරොත්තු ගොන්නත් හරියටම නිකිණි මාසේ ශුෂ්ක කලාපයට වැටෙන ( වැටෙනවා යයි සිතෙන, නමුත් කිසිදාක නොවැටෙන ) වැහි බිංඳු වගේමයි.. ඒ වැහි බිංඳු වෙනුවෙන් මහ පොළොව සුසුම්ලද්දි, සෝමලතා ( අපේ කතාවෙ කතා නායිකාව ) තමන්ගෙ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුසුම්ලනවා.. හැබැයි ඒ දෙවර්ගයම කවදාවත්ම ඉෂ්ඨ වෙන්නෙ නැහැ.. සිනමා සිත්තමක නමට තියෙන්න පුළුවන් අර්ථපූර්ණ බවට වෙන උදාහරණ මොකටද ඇහුවලු.. :)  කුළුඳුළේම අරුණ ජයවර්ධනයන් චිත්‍රපටයෙ නමේ ඉඳල රස බෙදන්නෙ ඔහොමයි..!


 
ප්‍රචාරක වීඩියෝව

කතාව ගත්තොත් මෙහෙමයි.. සෝමලතා වියැකී යන තාරුණ්‍යයේ පසු වෙන පසුවෙන ධෛර්‍යය සම්පන්න ගැහැණියක්.. 
චාන්දනී සෙනෙවිරත්න සෝමලතා ලෙසින්
චිත්‍රපටය ඇගෙ ධෛර්‍යය ප්‍රකට කරන්නේ ඇගේ පියාගෙ අභාවයෙන් පස්සෙ පියා විසින් ගොඩ නගපු ව්‍යාපාරය නොකඩවා කරගෙන යන්න ඇය ගත්ත තීරණයෙන්.. ඇගේ ධෛර්‍යය අසාමාන්‍යය වෙන්නෙ ව්‍යාපරය 'මල් ශාලාවක් පවත්වාගෙන යෑම' නිසා.. සාමන්‍යයෙන් ඒක අපේ සමාජයේ කාන්තාවක් රඟ දක්වන භූමිකාවක් නෙමෙයි.. හිත හයියයි කියන පිරිමිත් මිනියක් එම්බාම් කරද්දි පදමට රත් වෙන්න දෙකක් දාගනිද්දි, ඇය මීවිතකින් තොරවම ඒ කටයුත්ත කරන්නෙ කිසි පැකිලීමකින්ද තොරව.. ඇගේ චරිතය අභියෝගාත්මක වෙන්නෙ ඒ නිසා..ඉතින් ඇගේ ව්‍යාපාර කටයුත්ත නිසාම ඇයගෙ විවාහ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ද වෙන්න නැහැ.. ඇයට බැලුම් හෙලන ඇය ප්‍රිය කරන පිරිමින් බොහෝමයි.. හැබැයි ඔවුන් තුල ඇය කෙරෙහි වන කැමත්තට වඩා ඇය රඟ දක්වන සමාජ භූමිකාව කෙරෙහි වන අකැමැත්ත බොහොම වැඩි.. ඒත් විය යුතු පරිද්දෙන්ම කවද හරි දවසක තමන්ව තේරුම් ගත්ත කෙනෙක් තමන්ට හිමි වේවිය කියන අහිංසක බලාපොරොත්තුව ඇයගේ සිත තුල පැල පදියම් වෙලා තියෙනවා.. ඇගේ වියළි කතරට වැටෙන පිනි වැස්ස තමයි 'බිමල් ජයකොඩි'.. සෝමලතාගෙ සිහිනයක් තියෙනව කවදහරි දවසක තමන්ගෙ ගමට ආදාහනාගාරයක් පරිත්‍යාග කරන්න.. එහි සැලසුම් කරු හෙවත් ගෘහනිර්මාණ ශිල්පියාගෙ චරිතය තමයි බිමල් රඟ දක්වන්නෙ.. එකතරා විදියක අමුතු චරිතයක්.. හෙතෙම 'Katsaridaphobia' වෙන්(කැරපොත්තන් කෙරෙහි වන අසාමන්‍යය බිය) පෙලෙන්නෙක්..ඉතින් කතාව පුරාවට සෝමලතා තමන්ගෙ හිතෙ බිමල් කෙරෙහි වන කැමැත්ත පලකරන්න දක්වන ඉඟි බිඟි බොහෝමයි.. ඒත් ඒ ඉඟි නිවරදිව බ්මල් වටහාගත්තද කියන එක කතාව ඉවර වෙනතුරුත් සෝමලතාටත් ප්‍රශ්නයක්..!

කතාවේ කලු චරිතය වෙන්නෙ මැල් මුදලාලි.. තවත් මල්ශාලා කරුවෙක්.. තමන්ගෙ පැවත්මට, ව්‍යාපාරට එල්ල වෙන අභියෝග හොඳින් බැරි නම් නරකින්, ඒ කියන්නෙ ලෙයින් යකඩින් වුනත් මර්දනය කරන්න පසුබට නොවන්නෙක්..


මැල් මුදලාලි
එව වගේම චරිතක් තමයි ග්‍රාම සේවක චරිතය(දයා අල්විස්).. සෝමලතාගෙ මසට ඉව අල්ලන තවත් එක ගිජුලිහිණියෙක් කිව්වොත් නිවැරදියි... කතාවෙ එන තවත් ප්‍රධාන චරිතයක් වෙන්නෙ 'පියදාස'.. සෝමලතාගෙ රියදුරා වෙන්නෙ පියදාස.. (ජගත් මනුවර්ණ ) පියදාස පියා මිය යන ගමෙ තරුණියක් එක්ක පොඩි පලහිලව්වක් ඇති කරගන්නවා.. ඒ පල හිලව්වේ භාවාතිශය උච්ච වෙන තැනකදි තමයි පියදාස මිනී ගෙනියන 'හර්ස්' එක අතුලෙ ඉඳගෙනම මේ තරුණියත් එක්ක රමණයේ යෙදෙන්නෙ.. මේ දර්ශනය  සෝමලතා දකිනවා.. ස්වාමි දුව විදියට තමන්ගෙ සේවකයගෙ මේ විනය විරෝදී ක්‍රියාවට දඬුවම් දීමට තරම් බලයක් ඇය සතු වුනත් ඇය ඊට ප්‍රතිචාර දක්වන්නෙ ඒ තරුණිය පියදාසට කර කාර බන්දවල දීල..
 
සෝමලතාගෙ විරුද්ධවාදියා විදියට මැල් මුදල්ලාලිගෙන් ඇයට වගේම පියදාස ඇතුළු ඇගේ ගෝලබාලයින්ටත් එල්ල වෙන තාඩන පීඩන බොහෝමයි.. කතාව පුරාවටම ඉස්මතු වෙන්නෙ ඇගේ අප්‍රතිහත ධෛර්‍යයත්., කිසිදාක ඉටු නොවන බලාපොරොත්තු ගොන්නත් සහ කෙලවරක් නැති බාදක සහ තාඩන පීඩන කිව්වොත් නිවැරදියි.. අන්තිමේදි තමන්ට අභියෝගයක් වුනු මේ යුවතිය සදහටම නිහඬ කිරීමට තරම් ඇයගෙ විරුද්ධ පාර්ශවය දරදඬු වෙනවා.. කූඨ විදියට මරණයේ වගකීම අසරණ 'බිමල්' වෙත පවරමින්..කතාවෙ සාරංශය එහෙමයි.. දැන් අපි යොමු වෙමු චිත්‍රපටියෙ බොහොම වැදගත් කියල හිතෙන අවස්ථා සහ අංඟ කීපයකට.

මුලින්ම ප්‍රධාන චරිතය ගත්තොත් ඇය සමාජයෙන් දිගින් දිගටම ප්‍රතික්ශේප වෙන චරිතයක්.. එහෙම වෙන්නෙ ඇය මිනී මරපු නිසාවත් මංකොල්ල කාපු නිසාවත් නම් නෙමෙයි.. ඇය මල් ශාලාවක අයිතිකාරියක් වීම නිසාමයි එහෙම වෙන්නෙ.. මිනි එම්බාම් කිරීම සමාජයේ කවුරු හරි පුද්ගලයෙක් විසින් කල යුතුම වෙනවා.. හැබයි ඒ තමන් හෝ තමන් අසුරු කරන කෙනෙක් නොවිය යුතු කියන සමාජ සම්මත කුහකත්වයයි ඇයට පෙරල පෙරලා පහර දෙන්නෙ.. ඒ කුහකත්වය කොච්චර නම් දරුණුද කියනව නම් ඇගෙ දසුන පවා ගම්මුන් අප්‍රිය කරනවා.. ඒක චිත්‍රපටියෙ හරි ලස්සනට ඉස්මතු කෙරෙන තැන් කීපයක්ම තියෙනවා.. සෝමලතා බස් එකේ යද්දි ඉස්සරහ ආසනයේ ඉඳගෙන ඈ වෙත බැලුම් හෙලමින් සිනාසෙන සෙන අතදරුවා, දරුවගෙ මව විසින් අනික පැත්තට හරව ගන්නෙ හයක් හතරක් නොතේරෙන දරුවට පවා ඇගේ දසුන මූසලකමක්ම වෙනවාය කියන එක අඟවමින්..!

"මිනිස්සු කවදාවත් හිතන්නෙ නැහැ තමනුත් මැරෙනව කියල.. හැමදාමත් හිතන්නෙ මැරෙන්නෙ අල්ලපු ගෙදර මිනිහා විතරයි කියල".. සමාජයෙන් ඇයට එල්ල වෙන කඨෝර ප්‍රතිචාරයන් නිසා ඇති වෙන කළකිරීම වගේම සමාජය මරණය දිහා බලන විදියත් ඒ තුලවන ආත්මාර්ථයත් ඇගේ දෙබස් තුල ගැබ් වෙන්නෙ එහෙමයි.. සරළවම කිව්වොත් අපි මැරෙන දාට අපි කැමති මොනම හරි පුදගලයෙක් අපිව එම්බාම් කරල ගරුත්වයක් සහිතව මිහිදන් කරනව නම්..එහෙම හිතන කොට ඒ කටයුත්ත කරන කෙනා ඉටුදෙවියෙක්.. නමුත් මැරෙන්නෙ අපි නෙමෙයි නම් ඒ කටයුත්ත කරන කෙනා අමුම අමු මූසල චරිතයක්..  කොටින්ම දසුන පවා අප්‍රිය කරන තරමට...!

සෝමලතාගෙ  අභිප්‍රාය වෙන්නෙ ආදහනාගරයක් ගමට හදල දෙන්න.. ඒ උත්සහය මැල් මුදලාලි දකින්නෙ වෙනමම විදියකට.. "ගෑනි කපටියා.. ගෑනි හදන්නෙ සිල් රෙද්දත් පොරවගෙනම, මේ පලාතෙම මිනී ටික ගොඩ ගහගන්න"..! ඇත්ත., සෝමලතා ව්‍යාපාරික කාන්තාවක්.. ඉතින් ව්‍යපාරයක් කරගෙනයද්දි තියෙන්න ඕන සටකපට කම් ඇය තුලත් අඬංඟු වෙලා ඇති.. ඒ බව ඇය රෝහලේ මෝචරිය බාරව කටයුතු කරන නිළධාරියා (කුමාර තිමිරමාදු ) හම්බ වෙන අවස්තාවෙ එලියට පනින්නෙ "මම ඔක්කොම තුරුම්පු ඉල්ලන්නෙ නැහැ.. හැබයි.., මට ටිකක් වැඩිපුර ඕන..!" යන වචන වලින්.. කොටින්ම ප්‍රාණය නිරුද්ධ වුනු මළකඳට රුපියල් ශත වෙනුවෙන් මල්ශාලා කරුවන් කේවල් කරගන්න විදිය ඒ දෙබසෙත්, දර්ශනයෙත් කියවෙනවා..!

තනිවුනු ගැහැනියක් අවීවාහක ගැහැනියක් මොනයම් හෝ කාරණාවකට රාජ්‍ය නිළධාරියෙක් ගාවට ගියාම මූණ දෙන අපහසුතාවට සෝමලතත් මුහුණ දෙනවා.. ඒ ආදාහනාගරය තනන්න ග්‍රාම නිළධාරියාගෙන් ලබා ගතයුතු ලිපි ලේඛන ටික ගන්න යද්දි... එතන ඇති වෙන දෙබසත් හරි අපූරුයි... මේ චිත්‍රපටයෙ දෙබස් වල තිබ්බ විශේෂත්වයක් තමයි ව්‍යංඟය කැටිවුනු උපමා/රූපක සහිත වීම... දෙබස කිව්වොත් හරියටම මෙන්න මේ වගේ.. :)

ග්‍රා.නි. :     මේ වැඩ ඉතින් වෙන 'විදියක්' තියෙනවා..

සෝමලතා : ඔහෙට කීයක් ඕනද මේක කරල දෙන්න..?

ග්‍රා.නි. :     මට ඔය මොණරු වැඩක් නැහැ සෝමලතෝ..පිල් විහිදන මොණරුන්ට වඩා සෙබඩ ජෝඩුවක්   අත් දෙකට ගන්න මම හරි කැමතියි..

සෝමලතා : අහල තියෙනවද මොණරු කෑගහන සද්දෙ??

ග්‍රා. නි. :     ඒ මූසල සද්දෙට මම හරි ආදරෙයි සෝමලතෝ..!

ඒ වචන හුවමාරුව තුල සෝමලතා පත්වෙන අපහසුතාවත් එහි ව්‍යංඟයත් අමුතුවෙන් කියන්න ඕන නැහැ.. එත් ඒ යෝජනාව ඉදිරියේ දණින් නොවැටෙන්න තරම් සෝමලතා ශක්ති සම්පන්න වෙනවා.. එතනින් එහාට ග්‍රාමයට සෝමලතාව වහ කදුරු වගෙයි..! ඒ අප්‍රසාදය ඉස්මතු වෙන තවත් දෙබසක් චිත්‍රපටියෙ අන්තර්ගත් වෙන්නෙ මේ විදියට.. දර්ශනය සෝමලතා වැවේ දියා නාන අවස්තාවක්.. මේ වෙලාවෙම ග්‍රාම නිළධාරියත් එතනට එන්නෙ වතුර ටිකක් නාගන්න.. ඈතින් යනවා මාළු බාන ඔරුවක්.. ග්‍රාමයා එනවත් එක්කම සෝමලතා රෙදි බාල්දියත් අරගෙන යන්න ලෑස්ති වෙනවා.. එත කොට ග්‍රාමයා කෑගහල අර ඈතින් තියෙන ඔරුවට කියනවා "අද මේ ගොඩේ මාළු බාල වැඩැක් නැහැ බොල.. පුළුටු ගඳට උන් ඔක්කොම එහා ඉවුරට ගිහිල්ල.. එහෙට ගිහිල්ල බාපිය..!!!" ඇණුම් පදය වටහා ගන්න සෝමලතා ඉක්මන් ගමනින් එතනින් යනවා.. 'අහ් සෝමලතෝ., නාගෙන වගෙයි..'.. ග්‍රාමයගෙන් එල්ල වෙන්නෙ උපහාසය කැටි වෙච්ච ඇමතුමක්.. 'නැහැ එම්බාම් එකක් කොරා.., ඔහෙටත් ඕනැද???'.. සෝමලතාගෙ ප්‍රතිප්‍රහාරය එල්ල වෙන්නෙ එහෙමයි..!




කැළඹුනු සිතිවිලි
එහෙම දිය නාගෙන එන ගමනෙදි තමයි සෝමලතා දකින්නෙ තමන්ගෙ 'hearse' එක අයිනක තියෙන වනලැහැබක හැංඟිල තියෙන විදිය.. කිට්ටු කරල බලද්දි 'hearse' එකේ පිටිපස්සෙ කොටසෙ ( මිනී පෙට්ටිය තැන්පත් කරන කොටසෙ ) පියදාසයි එයාගේ පෙම්වතියයි හරි හරියට වැඩ..! මේ දර්ශනය සෝමලතාව කළඹවනවා..! තාරුණ්‍යයේ හැඟීම් කාලය විසින් යටපත් කොට තිබුනත් අවස්තාවක් ලද මොහොතක ඒ සියල්ල ඇවිස්සී එන්නෙ අළු යට සැඟ වුනු ගිනි පුපුරු වගේ..
ඒ හැඟීම් තුළ, ඒ අනුරාගය තුල තියෙන ප්‍රබල බව කතාවෙ ඉස්මතු කෙරෙන්නෙත් හරි අපූරු දර්ශනයකින්.. රාගයේ සිතුවිලි ඇවිස්සුනු තැන පුහුදුන් මනසට හොඳ නරක වගේම කැත, හිරිකිතත් නොපෙනී යනවා..! ඉතින් ඒ සිතුවිලි පහස තනිව විඳගන්න සෝමලතාට ඉඩලැබෙන්නෙ කොතැනද එතැන සුදුසු නුසුදුසු බව තකන්න ඇය පෙළඹෙන්නෙ නැහැ..! දහසක් මිනී එම්බාම් කරන්න කලින් අවයව ඡෙදනය සිදුකරද්දි වැතිරී හිටපු සිමෙන්ති බැම්ම මත වැතිරිලා ඇය තම සිතුවිලි පහසෙ තනි වෙන්නෙ ඒ අනුව..!



ජගත් මනුවර්ණ පියදාස ලෙසින්
ජගත් මනුවර්ණ විසින් රඟදක්වන පියදාස හෙවත් සෝමලතාගෙ රියැදුරු චරිතයත් කතාවෙ එන ප්‍රභල චරිතයක්..! ජීවිතයම මළගෙවල් සහ මිනී එක්ක ගෙවන චරිතයක්.. මරණය, මිනිය , මිනී පෙට්ටිය කොයිතරම් නම් ඔහුට සාමාන්‍යය දෙයක්ද කිව්වොත් ඔහු නිදහස් වෙලාවක සැහැල්ලුවෙන් උරුවම් බාන්නේ පවා පෙට්ටියක් මත වැතිරිල දෙපැත්තෙන් තියෙන පෙට්ටි වලට තප්පුලමින්.. විටින් විට එකතු කර ගත්ත සොච්චමත්., ඔහුගෙ අනෙක් අඩුම කුඩුම ටිකත් දාල තියෙන්න, මිනී පෙට්ටියක හැඩයට හදාගත්තු හුරුබුහුටි ලී පෙට්ටි පොඩ්ඩක.. :)


සිය ගනනක් මිනී වළවල් කපපු සිය ගනනක් මිනී එම්බාම් කරපු පියදාසට මරණයේ කටුකත්වය දැනෙන්නෙ තමන් අලුත විවාහ කරගත්ත තරුණිය, තමන්ගෙ ආදරණීය බිරිඳ, ගැබින්නක් වෙල ඉඳිද්දිත් වල් අලි ප්‍රහාරයකට ලක් වෙලා අකාළයේ මිය යද්දි..! අනික් මිනිස්සුන්ගෙ දුක දිහා අපි බලන විදියත් ඒ ව්‍යසනයටම අපි බඳුන් වෙද්දි අපිට දැනෙන විදියත් ඒ අවස්ථාව මගින් මොනවට කියාපානවා..! තමන්ගෙ කිට්ටුවන්තයෙක්ගෙ මිනිය තමන්ටම එම්බාම් කරන්න වීම කොයිතරම් නම් කටුකද., අන්න ඒ කටුකත්වයට පළමු වතාවට සෝමලතාත් මුහුණ දෙන්නෙ පියදාසගෙ බිරින්ඳෑගෙ මරණයත් එක්ක..! මරණයෙන් පස්සෙත් පියදාසට ඇයව සිහිවීමට අරුණ පාදක කරගන්න දේවල් හරිම සුන්දරයි.. උළුවස්සක ගහල තිබුනු ඇය බීඩි එතීමට ගත්ත පන් පැදුරත්., හවසට එනතුරු ඇය මග බලාගෙන සිටි පාන්, බනිස් රැගත් රථයත් (චූන් පාන් ) පියදාසට ඈව නැවත නැවත සිහි කැන්දනවා..! තරුණියක් බීඩි ඔතනවා කියන කාරණයම ඈ මුහුණ පාන ආර්ථික දුෂ්කරතාවන් පෙන්නුම් කරන සාධකයක් වෙනවා..! ඒ සා අසරණතාවකින් දිවි සරි කරගත්තු ඇය තමන් බීඩි ඔතපු පන් පැදුරෙ එකම එක බීඩියක් තම ස්වාමියාට ඉතිරි කරලා නික්ම ගිහින් තියෙන විදිය හරිම සංවේදනීයයි..!


මිනිස් සමාජයේ තියෙන්නාවූ වත් පිලිවෙත් වගේම විශ්වාසයන්ටත් ඇතැම් අවස්ථාවලදි සියුම් ලෙස පහරදෙන්න අරුණ නොපසුබට වී තියෙන්නේ ඒ ඒ කාරණා හරහා අපූරු උපහාසයක් උත්පාදනය කරමින්..! එක්තරා අවස්ථාවකදි බාගෙට හදාගෙන යන ආදහානගරයට මැල් මුදලාලිගෙ පිරිස කඩා වැදිල ඉනදිවෙමින් පැවති ගොඩනැගිල්ල බිමට සමතලා කරනවා.. මේ අවස්ථාවෙදි අන්ත අසරණ වෙන සෝමලතා පියදාසත් එක්ක දේවලටෙ යන්නෙ පූජාවක් එහෙම තියල මේ අකටයුත්ත කරපු උදවියට දෙස් ඉල්ලල  පොල් ගහන්න..!
සාපරාධයට දෙස් ඉල්ලමින්
සෝමලතා බොහොම බැතිබර පූජාව කරලා., පොලුත් ගහනවා..! ඒ කරලා දේවාලය දිහාවට හෙලන එක බැල්මකින් නෙත ගැටෙන්නෙ ඈව සලිත කරවන දසුනක්..! සිනාමුසු මුහුනින් සාරවත් පූජා වට්ටියකුත් දෑතෙ හිරකරගෙන දේවාලයට ඇතුලුවන්නෙ මැල් මුදලාලි..! පැමිණිලිකාර පාර්ශවය වගේම චූදිතයත් එකම දෙවියන්ගෙ බැතිමතුන්..! දැන් එත කොට දෙවියො තෝරගන්නෙ කාගෙ පැත්තද?? මොකද දෙන්නම හරි හරියට දෙවියන්ට පූජා පවත්වපු උදවිය..!


චිත්‍රපටයෙ අවසානයේ සෝමලතා මරණයට පත්වෙද්දි පියදාස ඒ පිලිබඳ තම හැඟීම් සමුදාය මුදාහරින විදියත් හරිම සංවේදනීයයි... අවස්ථා ගනනකදි ඇය මංගල දැන් වීම් වලට යැවු ලිපි වලට ලැබුනු සාර්ථක පිලිතුරු ලිපි සියල්ල ඇයට නොදී අසාර්ථක ලිපි විතරක්ම ඇයට ලැබෙන්න සලස්වන්නෙ ඇය කෙරෙහි බැඳුනු යම් ප්‍රේමනීය සිතිවිල්ලකින්.. ඒත් තම ස්වාමිදුව කෙරෙහි ඇති වෙන මේ ප්‍රේමය අප්‍රකාශිත ප්‍රේමයක්..! ඉතින් ඇගේ මරණයෙන් පස්සෙ තවත් ඒ ලියුම් සඟවාගෙන ඉඳල ඵලක් නැති නිසාම පියදාස තමන්ගෙ දුක කෝපය පිට කරන්නෙ ඒ ලියුම් ගොන්න කෑලි කෑලි වලට ඉරලා.. සමහර විට ඒ දුක තුලම ඇයට විවාහ ගිවිසා ගන්න ඉඩ දුන්න නම් ඇයට මේ ඉරණම අත්නොවෙන්න ඉඩ තිබුනා කියන වරදකාරී හැඟීමත් ගැබ් වෙලා තියෙන්න ඇති..!

ඔය විදියට අතිශය සංවේදී භාවප්‍රකාශනයන් තුලින් මිනිස් ජීවිත වල ඇතුලාන්තය ගවේෂණයක යෙදෙමින් නිකිනි වැස්ස නිමවෙනවා.. මිනිස් සිත තුල හට ගන්නා අනේක විද වූ සිතුවිලි වලට අර්ථ සපයමින්, එමෙන්ම ඒ මිනිස් ජීවිත මුහුණ දෙන්නා වූ අනේක විද බාධා හැල හැප්පීම් කළාත්මකව නිරූපණය කරමින් අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනයන් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ තමන් විසින් වදාපු සුන්දරවූත් විවාද සම්පන්න වූත් සිනමා කාව්‍ය සහෘද ප්‍රේක්ෂක ජනයාට තිලිණ කරනවා.. සැබවින්ම ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොදෙන., අභියෝගයක්ම සපයන, ගෙවන මුදලට එහා ගිය වින්දන පරාසයකට රසිකයව කැඳවන රසාලිප්තයක්ම බව කියන්න පුලුවන් කිසිඳු පැකිලීමකින් තොරවම.. බොහෝ දුරට ප්‍රවීණ රංඟන ශිල්පීන්ගෙන් සමන්විත රංඟ කණ්ඩායමේ යම්තාක් දුරකට හෝ ආධුනිකත්වයක් නියෝජනය කරන්නේ ජගත් මනුවර්ණ, තුමිඳු දොඩම්තැන්න සහ පියදාසගෙ බිරිඳගේ චරිතය රඟ දක්වන සුලෝචනා වීරසිංහ යන ශිල්පීන් සහ ශිල්පිනියන් පමණයි. ඉන් චාන්දනී සෙනෙවිරත්නගේත්, ජගත් මනුවර්ණගේත් රංඟනය වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබුනු බව කියන්නම ඕන..


සංගීතය ගැන මගේ හිත යොමු වෙන්නෙ අවසානයේ බිමල් ජයකොඩි හිර කූඩුවේ සිට බලාගෙන සිටින මොහොතෙ පසුබිමින් වාදනය වෙන ඔකෙස්ට්‍රල් සංගීත සංධවනියත් එක්ක.. අනුමානය නිවැරදි.. කේමදසගෙන් පසු හිස් වූ කෙළි බිමේ නදීක ගුරුගේ ගහන උඩු පිණුම් යටි කරණම් විශිෂ්ටයි.. චිත්‍රපටය ගැන කීමට ඇති සමස්ථය නම් මනා කළකාමී සංකලනයක්., මනා එකතුවක් සහ මනා නිර්මාණයක් බවයි..
ඒ වගේම ජීවිතය ගැන නැවත හිතන්න, ගැඹුරින් දකින්න අවකාශය ලබා දෙන භාවනාමය අභ්‍යසයක්..!
ලිපිය අවසන් කරන්න මත්තෙන් මට හිතුනා සමස්ථ චිත්‍රපටය ගැන සාර්ථක අර්ථකතනයක යෙදෙන පූර්ව ප්‍රචාරක කටයුත්තෙ එන වැකිය මෙලෙස ඉදිරිපත් කරන්න..


සුදු ඇඳගත් අහසක්
කළුවර වන දවසක්..
මරණය මිහිදන් කල මහපොළොවට
වැහිබිඳු වැටෙන තප්පරයක්..
මේ සංසාර ගමනේ
එක් තැනක නැවතුන ජීවිත වල ..
සුසුම්ලන, ඉකිබිඳින,
සිනාසෙන මායිමට එන්න..
එක දවසක, එක උදෑසනක,
එක රාත්‍රියක ඔබ ඇවිත් යන්න එන්න..
ජීවිතය යනු තවත් එක වැහි බිඳුවකැයි ඔබට සිතේවි...!
වියලී ඉරි තැලුනු මහ පොලොව
ඇසිපිය නොහෙලා සිප ගන්නට
බලාසිටින වැහි බිඳුවකට එක් නිමේශයකදී..!


ඉතින් තවත් මොකටද කල්මරන්නෙ? එක දවසක එක සවසක එක උදෑසනක ඔබත් යන්න ඒ සුසුම් ලන ඉකිබිඳින සිනාසෙන මිනිසුන් දකින්න.. සැබවින්ම ජීවිතය පිනි බිඳුවකමැයි ඔබට සිතේවි.. !








Thursday, July 18, 2013

ඇරඹුමක්.. ඇරයුමක්..!



 


කළයුතු යමක් වේ නම් එය නිසිකලම කලයුතුව පවතී. ඒ කියමන හිතේ දරාගෙන මේ පළමු ලිපිය අරඹන්නේ මගේ බොහොම අවිදිමත් වගේම අපිලිවෙළකට ඇරඹෙන තුන්වන බ්ලොග් අඩවියේ ඇති අනේකවිද අඩුපාඩු ඉවසා වදාරන ලෙස ඉල්ලමින්. තව කල් අරගෙන බොහොම හෙමින් සීරුවේ කරන්න තිබ්බ කටයුත්තක් මෙහෙම හදිස්සියේ අරඹන්න වීමම ඒ අඩුපාඩු වලට හේතු කාරණා වෙනවා.. මුල්ම ලිපිය විදියට මේ අඩවියේ අන්තර්ගතය ගැන කිව්වොත් මෙහෙමයි.. 

ඇත්තටම අපිට සිනමාව ගැන මහ ලොකු පරිචයක් නැහැ..ලෝකයේ විශිෂ්ට සිනමා කෘති අපි ඇසුරු කරල නැහැ.. රටක් වශයෙන් වුනත් අපිට මහා සිනමා සම්ප්‍රදායක් තිබුනා කියල කියන්න බැහැ.. එහෙම නිර්මාණ ඉතාම අතලොස්සක් විටින් විට බිහි වුනත් ඒක ප්‍රමාණවත් කියල හිතෙන්නෙ නැහැ.. තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් සිනමාව සම්බන්දයෙන් න්‍යයාත්මක දැනීම අතින් මම නොදරුවෙක්..කොටින්ම කැමරාකරණය, ආලෝකකරණය සහ අධ්‍යක්ෂණය ගැන මා මෙතෙකැයි කියා ලද දැනුමක් නොමැති තරම්.. ඒත් ඕනෑම සිනමා නිර්මාණයක් දිහා අපිට අපේම වූ කෝණයකින් බලන්න පුලුවන්.. ඒකට විවිධාකාර වූ අර්ථ සපයන්න පුලුවන්.. ඒ සම්බන්දයෙන් අපේ දැක්ම බෙදා හදාගන්න පුලුවන්..


අපි කවුරුත් දන්න, සියලු කලාවන්ට පොදු වූ ධර්මතාවයක් තියෙනවා.. ඒ තමයි කලාවක පැවත්මට අවශ්‍යය ප්‍රධානම පිටුබලය වන රසික ප්‍රතිචාරය.. රසිකයා නොමැති තැන කිසිඳු කලාවක් පවතින්නෙ නැහැ.. ඔබ කොච්චර දක්ෂ ගායකයෙක් වුනත් වැඩක් නැහැ ශ්‍රාවකයෙක් නැත්නම්..කොච්චර දක්ෂ රචකයෙක් වුනත් ඵලක් නැහැ පාඨකයෙක් නැත්නම්.. කොච්චර දක්ෂ සිනමාකරුවෙක් වුනත් වැඩක් නැහැ නරඹන්නෙක් නැත්නම්..!


එහෙම බැලුවම කලාව සහ රසිකයා කියන්නෙ හරියට ගහයි පොත්තයි වගේ..  හැබැයි කලාවේ උන්නතිය උදෙසා රසිකයාගේ දායකත්වය කෙසේ විය යුතුද කියල අහන කාරණාවේදි රසික ප්‍රතිචාරය කියන අංඟය බොහොම වැදගත් වෙනවා.. උදාහරණයක් විදියට චිත්‍රපටියක් බලලා 'ෂහ්.. මාර ෆිල්ම් එක.. කියල වැඩක් නෑ' කියල අපි දක්වන උද්දාමයත් රසික ප්‍රතිචාරයක් තමයි.. ඒ තුලින් අනිවාර්යෙන්ම  නිර්මාණකරුවා ධෛර්‍යමත් කෙරෙනවා.. නමුත් ඒ වගේ රසික ප්‍රතිචාරයක් තුලින් කලාවේ උන්නතිය උදෙසා වන දායකත්වය අල්පයි.. ඔය කියන තත්වෙන් එහාට ගිහින් ටිකක් විතර ගැඹුරුයි කියන්න පුලුවන් මට්ටමින් කලා කෘතියක් විමර්ශනය කරලා ඒ කලා අංඟයේ තියෙන සියුම් තැන් පිරික්සන්න පුලුවන් නම් ඒක රසික අපටත් කලාවටත් කරන යහපතක්ම වෙනවා.. ඉස්සරනම් ඕවටම වෙන්වුනු සිනමා සංගම් තිබුනා..ඒ ඔස්සේ චිත්‍රපට එලිදැක්වීමක් එක්කම ඒ සම්බන්ධයෙන් හොඳ කතිකාවතක්, සංවාදයක් ගොඩ නැගෙන ක්‍රම වේදයක් තිබුනා.. ඒත් අද කාලේ එහෙම දෙයක් නැහැ..! 


ඉතින් සිනාමාවතරණයේ මූලිකවම ඉඩ කඩ වෙන් වෙන්නේ ඔය කියපු කාරණාවට.. කොටින්ම අපේ කොදෙව්වේ සිනමාව පිලිබඳ රසික විග්‍රහයක් විදියට මේ ලිපි පෙල හැඳින්නුවත් නිවැරදියි.. මේවා සිනමාව නූගත් අපේ හුදු රසික විග්‍රහම වන බැවින් මේවට විචාර කියන්න බැහැ..ඉතින් මේ විදියට අද ඉඳන් සිනමාවතරණය ලෙසින් අන්තර්ජාලගත කෙරෙන්නේ කොදෙව්වක සිනාමාව සම්බන්ධයෙන් මුදා හැරෙන අපේ සිතුවිලි ධාරාව.. ඇති රසය තීව්‍ර වේවි, නව රසක් මතුවේවි, නව අරුතක් උපදීවි..! ඉතින් එන්න නිදහස් වෙලාවක, රසය විඳින්න සැකසුනු මනසින් යුක්තව, සිතුවිළි සයුරේ කිමිදිලා අවදි කරගමු අපි අපිටම නැතිවුනු සබුද්ධික රසිකයාව.. :)